හානිකර නොවූ පුරස්ථී ග්‍රන්ථිය විශාල වීම

ඔබේ පුරස්ථී ග්‍රන්ථිය විශාල වී ඇත්දැයි සොයා බැලීම සඳහා, ඔබට පරීක්ෂණ කීපයකට භාජනය වීමට සිදු විය හැක. සමහර පරීක්ෂණ ඔබේ පවුලේ වෛද්‍යවරයා විසින්ම සිදු කරනු ඇති අතර, අවශ්‍ය වුවහොත්, අනෙක්වා මුත්‍රා සම්බන්ධ ප්‍රශ්න පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු (මෞත්‍ර ලිංගික විශේෂඥයෙකු- Urologist) විසින් සිදු කරනු ලැබේ.

පවුලේ වෛද්‍යවරයාගේ විමර්ශන හා විද්‍යාගාර පරීක්ෂණ

ඔබේ වෛද්‍යවරයා ඔබේ රෝග ලක්ෂණ හා ගැටලු ද, ඒවා ඔබේ ජීවන තත්ත්වය කෙරෙහි බලපාන ආකාරය පිළිබඳව ද ප්‍රශ්න කරනු ඇත. පහත දැක්වෙන දේවල් සම්පූර්ණ කිරීමට ඇතැම් විට ඔබට උපදෙස් ලැබෙනු ඇත:

  • මුත්‍රා කිරීමේ වාර ගණන-පරිමා සටහනක්. මෙමගින් ඔබ දිනකට සාමාන්‍යයෙන් පානය කරන ජල ප්‍රමාණය, ඔබ පිට කරන මුත්‍රා ප්‍රමාණය, දිනපතා ඔබ කීවරක් ඔබේ මුත්‍රාශය හිස් කරන්නේද යන්න, එමෙන්ම ඔබට මුත්‍රා කාන්දු වීමක් ඇත්නම් එය පිළිබඳවද වාර්තාවක් සපයනු ඇත.
  • IPSS ප්‍රශ්නාවලිය. IPSS (International Prostate Symptom Score - අන්තර්ජාතික පුරස්ථීක රෝග ලක්ෂණ ලකුණු ක්‍රමය) ප්‍රශ්නාවලිය ඔබේ වෛද්‍යවරයාට ඔබේ රෝග ලක්ෂණ කෙතරම් බරපතලද යන්න පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා දෙයි.

ඔබේ වෛද්‍යවරයා කායික පරීක්ෂණයක් සිදු කරනු ඇත. ඔවුන් ඔබේ උදරය හා ලිංගේන්ද්‍රිය අවට පරීක්ෂා කරනු ඇත. ඔවුන් ඔබේ ගුද මාර්ගයේ බිත්තිය හරහා ඔබේ පුරස්ථී ග්‍රන්ථිය ස්පර්ශ කර පරීක්ෂා කිරීමද සිදු කරනු ඇත. මෙය ගුද මාර්ග පරීක්ෂාවක් (ඩිජිටල් රෙක්ටල් එග්සැමිනේෂන් -digital rectal examination (DRE)) ලෙස හැඳින්වෙයි. ඔබේ වෛද්‍යවරයා ඔබේ වකුගඩු හරිහැටි ක්‍රියාත්මක වන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා රුධිර පරීක්ෂණයක් නියම කළ හැක. පුරස්ථී පිළිකා පැවතීමේ හැකියාව බැහැර කිරීමට ප්‍රොස්ටේට් ස්පෙසිෆික් ඇන්ටිජන් (prostate specific antigen (PSA)) රුධිර පරීක්ෂණයක් සිදු කිරීමට ඔවුන් ඔබට උපදෙස් දෙනු ඇත. ඔබට මුත්‍රා වල ග්ලූකෝස් (සීනි) හෝ රුධිරය ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා මුත්‍රා පරීක්ෂණයක් සිදු කරනු ඇත. මේ ඔබට දියවැඩියාව හෝ ආසාදනයක් ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහාය.

මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍යවරයකු (යුරෝලොජිස්ට් - Urologist) වෙත යොමු කිරීම

ඔබේ වෛද්‍යවරයා පහත දැක්වෙන අවස්ථා වලදී ඔබව මෞත්‍ර ලිංගික විශේෂඥයෙකු හෝ වෙනත් සුදුසු විශේෂඥයෙකු වෙත යොමු කරනු ඇත:

  • පෙර ප්‍රතිකාර මගින් ඔබේ මෞත්‍ර ලිංගික ගැටලු සමනය වී නැත්නම්
  • මුත්‍ර ආසාදනයක් සමනය නොවෙයි නම් හෝ නැවත නැවතත් ඇති වෙයි නම්
  • ඔබට මුත්‍රාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීමට නොහැකි නම්
  • ඔබේ වකුගඩු වල ගැටලු ඇති විට
  • ඔබට ආතතිය නිසා ඉබේ මුත්‍රා පිටවීම (Stress incontinence) ඇති විට: එනම් මුත්‍රාශය පීඩනයට ලක් වූ විට මුත්‍රා කාන්දු වීම; උදාහරණ ලෙස, ඔබ කහින විට හෝ තදින් සිනාසෙන විට

බොහෝ පුරුෂයින් සඳහා පිළිකාව හේතුවක් නොවුනත්, ඔබේ වෛද්‍යවරයා ඔබේ රෝග ලක්ෂණ වලට හේතුව පිළිකාවක් විය හැකි බව සැක කරන්නේ නම්ද ඔබ විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වේ. ඔබේ රෝග ලක්ෂණ වලට හේතුව සොයා ගැනීමට උපකාරී වීමට හා ඒවාට ප්‍රතිකාර කිරීමට හොඳම ක්‍රමය තීරණය කිරීම සඳහා ඔබට අතිරේක පරීක්ෂණ කිහිපයක් සිදු කරනු ඇත:

  • ඔබේ මුත්‍රා පිට කිරීමේ වේගය
  • ඔබ මුත්‍ර පහ කිරීමෙන් පසුව මුත්‍රාශයේ රැඳී තිබෙන මුත්‍ර ප්‍රමාණය

ඔබේ රෝග ලක්ෂණ හා ඔබ සහ ඔබේ වෛද්‍යවරයා විසින් සලකා බලනු ලබන ප්‍රතිකාර ක්‍රම අනුව ඔබට වෙනත් පරීක්ෂණද සිදු කළ හැක.